පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරියේදී යතුරුපැදි ලබාදීමටත්, ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ට හිමි නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා මධ්‍යස්ථාන 11කදී පුහුණුව නිමා කළ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමට අද (26) කොළඹ ජාතික රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමිනි. රටේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමකට ගෙන යමින් පවතින බැවින්, ගෝලීය අර්බුද හමුවේ වුවද ජනතාවට බරක් නොතබා ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඔහු එහිදී කියා සිටියේය.
මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය මෙන්ම ක්ෂේත්‍ර රාජකාරී අධීක්ෂණය භාර මෙම නිලධාරිනියන්ගේ කැපවීම හේතුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට විශේෂ ඇගයීමක් ද හිමි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කළේය.













