රුපියල් හැට ලක්ෂ හැට දහසක් (රු. 6,060,000) වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ “හරිත මාවත” (Green Channel) ඔස්සේ රේගු පරීක්ෂාවලින් මඟ හැර පිටව යාමට තැත් කළ විදේශීය ව්‍යාපාරිකයන් තිදෙනෙකු ඊයේ (25) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 31, 36 සහ 40 යන වයස්වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනෙකි. මොවුන් රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා උපක්රමශීලීව මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන, මුලින්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස්, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් කටුනායක වෙත පැමිණ තිබුණි.
ඔවුන් සන්තකයේ තිබූ ගමන් මලු 6ක් සෝදිසි කිරීමේදී, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,400ක් අඩංගු දුම්වැටි කාටූන් 202ක් රහසිගතව සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. සැකකාර චීන ජාතිකයන් තිදෙනා සහ දුම්වැටි තොගය රේගු බාරයට ගෙන ඇති අතර කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
















