දකුණු චීන මුහුදේ ශීඝ්‍රයෙන් වර්ධනය වන චීන මිලිටරි බලපෑම්වලට මුහුණ දීම සඳහා වියට්නාමය ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් වටිනා “බ්‍රාහ්මෝස්” (BrahMos) සුපර්සොනික් කෲස් මිසයිල තොගයක් මිලදී ගැනීමට තීරණය කර ඇති බව “ටයිම්ස් ඔෆ් ඕමාන්” (Times of Oman) පුවත් සේවය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් දෙරට අතර අවසන් එකඟතාවන්ට එළඹීම ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති අතර, නිල රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම ඉදිරි මාස කිහිපය ඇතුළත අත්සන් කිරීමට නියමිතය. මෙම නවීන මිසයිල පද්ධති තමන්ගේ යුද සහ නාවික හමුදා බලඇණි වෙත ලබාදී ආරක්ෂාව තර කිරීම වියට්නාම රජයේ මූලික සැලසුම වී තිබේ. මෙම ඓතිහාසික ගිවිසුම සමඟින්, පිලිපීනයට පසුව ඉන්දියාවෙන් බ්‍රාහ්මෝස් මිසයිල මිලදී ගන්නා ලොව දෙවැනි රට බවට වියට්නාමය පත්වනු ඇත.
ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඉන්දියාව සතු උපායමාර්ගික සහ ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා පසුගියදා වියට්නාමයේ හැනෝයි නුවර නිල සංචාරයක ද නිරත විය. පසුගිය මාස කිහිපය පුරා දෙරට අතර රහසිගතව පැවති ආරක්ෂක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම දැවැන්ත මිසයිල ගිවිසුම ක්‍රියාවට නැංවෙන බව විදේශ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
















