දිගු කලක් තිස්සේ කල්යමින් පවතින පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර කඩිනමින් පැවැත්විය යුතු බවටත්, ඒ සඳහා 2017 අංක 17 දරන පනතට පෙර පැවති පැරණි මැතිවරණ ක්‍රමය (මනාප ක්‍රමය) යළි ක්‍රියාත්මක කළ යුතු බවටත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 41ක් ඊයේ (26) ඒකමතික එකඟතාවකට පැමිණෙමින් ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබූහ.
පැෆ්රල් (PAFFREL) සංවිධානයේ මූලිකත්වයෙන් කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබේ. සාකච්ඡාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42ක් අතුරින් ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ජාතික ජන බලවේගය (NPP) හැර අනෙකුත් සියලුම පාර්ශව මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම විශේෂත්වයකි. මෙම ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ ආණ්ඩු පක්ෂය වෙත යොමු කිරීමට තීරණය වී ඇති අතර, ස්වේච්ඡා පදනමක් මත අපේක්ෂක ලැයිස්තු තුළ කාන්තා සහ තරුණ නියෝජනය සියයට 25ක් (25%) ලෙස සහතික කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.
මෙම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරමින් එජාප මහලේකම් තලතා අතුකෝරළ, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, දෙවන පරපුරේ උවිඳු විජේවීර, ITAK පක්ෂයේ ෂානක්කියන් රාසමාණික්කම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් රැසක් සහභාගි වූහ. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙනුවෙන් මහින්ද දේශප්‍රිය (විව්), මංජුල ගජනායක (IRES), මනාස් මකීන් (කැෆේ) සහ රසාංග හරිස්චන්ද්‍ර (CMEV) යන මහත්වරුන් ද එක්ව සිටියහ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සාකච්ඡාවට එක්ව සිටියේය.
















