ඉබෝලා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කැනඩාව විසින් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන් සඳහා තාවකාලික සංචාරක තහනමක් පැනවීමට අඟහරුවාදා පියවර ගත්තේය. කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බදාදා සිට දින 90ක කාලයක් කැනඩාවට ඇතුළු වීම තහනම් කෙරේ. බහමාස් දූපත් ද මෙවැනිම තීරණයක් ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
බන්ඩිබුගියෝ (Bundibugyo) නම් ඉබෝලා වෛරස ප්‍රභේදය හේතුවෙන් පවතින අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ අතර, එය ජාත්‍යන්තර කනස්සල්ලට හේතු වූ හදිසි තත්ත්වයක් ලෙස ද නම් කර ඇත. මීට පෙර පසුගිය සතියේදී ඇමරිකා එක්සත් ජනපදය ද අදාළ රටවල සංචාරය කළ අමෙරිකානු පුරවැසියන් නොවන අයට රටට ඇතුළුවීම තහනම් කළේය.
කැනඩාවේ පදිංචි කැනේඩියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් ඇතුළු රෝග ලක්ෂණ නොමැති විදේශීය ජාතිකයන් මැයි 30 දින සිට දින 21ක කාලයක් නිරෝධායනයට යොමු වීමට සිදු වන බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය නිවේදනය කර ඇත.














