දුම්රියන් තුළ අසරණයන් ලෙස වෙස්වලාගෙන වංචනික ලෙස සිඟමන් යදින පුද්ගලයන් සම්බන්ධයෙන් මගී ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මෑතකදී දුම්රිය ආරක්ෂක අංශ විසින් සිදුකළ වැටලීමකදී කොළඹ බලා ධාවනය වූ දුම්රියක සිඟමන් යදින පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු සැබෑ ලෙසම ආබාධිත තත්ත්වයක නොසිටින පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ. ඔහු ආබාධිතයෙකු ලෙස රඟපාමින් මගීන් නොමඟ යවා මුදල් උපයා ගන්නා අයුරු සහ ඉන්පසු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතී.
මගී ජනතාව නොදැනුවත්වම මෙවැනි වංචනිකයන්ට මුදල් පරිත්‍යාග කිරීමෙන් ඔවුන්ව තවදුරටත් දිරිමත් කරන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මෙවැනි ක්‍රියා වළක්වා ගැනීමට නම් මගීන් මෙවැනි අයට මුදල් ලබා දීමෙන් වැළකී සිටීම වැදගත් වන අතර, දුම්රිය තුළ මෙවැනි සිදුවීම් දැකගත හැකි වුවහොත් වහාම එම දුම්රියේ ආරක්ෂක නිලධාරීන් හෝ දුම්රිය ස්ථානාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටී. මෙවැනි වංචනිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ දඬුවම් ලබා දීමට පවතින නීතිමය රාමුව තුළ කටයුතු කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.














