ඉරාන ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් සටන් විරාමයක් සඳහා කැපවී, අන්‍යෝන්‍ය අවබෝධයකින් සහ සහයෝගයකින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් යී (Wang Yi) මහතා පැවසීය. නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකට මුලසුන දැරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
දකුණු ඉරානයට අමෙරිකාව විසින් ‘ආරක්ෂක ප්‍රහාර’ (defensive strikes) එල්ල කිරීම නිසා අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට ඉරානය චෝදනා කරන පසුබිමක චීන විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ගැටුම නතර කිරීම සඳහා වන ගිවිසුමක් සාකච්ඡා කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා තිබේ.
“පවතින ගැටලු එක රැයකින් විසඳිය නොහැකි බව අප දන්නා නමුත්, සාකච්ඡා මගින් තබන සෑම පියවරක්ම සාමය සඳහා බලාපොරොත්තුවක් ගෙන එයි. ගැටුම ඉක්මනින් අවසන් කිරීම යනු සිවිල් වැසියන්ගේ ජීවිත වැඩිපුර බේරා ගැනීමකි,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














