ශ්‍රී ලංකාවේ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන SLT-MOBITEL සමූහය, 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය ඉතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයීම් වාර්තා කරමින් විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කරගෙන තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා පවතින ඉහළ ඉල්ලුම මෙම කැපීපෙනෙන වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇත.
කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිකුත් කර ඇති නවතම මූල්‍ය වාර්තාවලට අනුව, සමූහයේ පළමු කාර්තුවේ සමුච්චිත ආදායම රුපියල් බිලියන 30.8ක් වන අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට (රු. බිලියන 27.9) සාපේක්ෂව 10.6%ක කැපීපෙනෙන වර්ධනයකි. සමූහයේ මෙහෙයුම් ලාභය 39.1%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.1ක් ලෙස සටහන් වන විට, බදු පසු ලාභය රුපියල් බිලියන 2 සිට බිලියන 3.1 දක්වා 53.3%ක දැවැන්ත වර්ධනයක් පෙන්වා තිබේ. සමාගම් මට්ටමින් ගත්කල SLT PLC ආදායම රුපියල් බිලියන 19.7 දක්වා ද, මොබිටෙල් (Mobitel) ආදායම 9.9%කින් (රු. බිලියන 1.2කින්) ද වර්ධනය වී ඇත. විශේෂයෙන්ම මොබිටෙල්හි බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම 28%කින් ඉහළ ගොස් ඇත්තේ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමේ සාර්ථක ක්‍රමෝපායන් ද සමඟිනි.
මෑතකදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී එම්. රියාස් රෂීඩ්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමන්ත විජේකෝන් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක යන මහත්වරුන් ප්‍රකාශ කළේ, ජාල පුළුල් කිරීමේ සාර්ව ආර්ථික අභියෝග පැවතියද, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් සමාගම උපරිමයෙන් කැපවන බවයි. එහි ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස, ඉහළ ධාරිතාවයකින් යුත් ෆයිබර් යටිතල පහසුකම් ඔස්සේ නිල වශයෙන් 5G ජාලය පොදු මහජනතාව වෙත විවෘත කිරීමට ද SLT-MOBITEL කටයුතු කර ඇත. මෙමඟින් අධ්‍යාපන, සෞඛ්‍ය, නිෂ්පාදන සහ ව්‍යවසාය අංශයන්හි නව පෙරළියක් සිදු කරමින් නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රජාව වෙත ද වේගවත් ඩිජිටල් ආර්ථිකයක ප්‍රතිලාභ සමීප කරවීමට සමාගම සූදානම්ය.
















