හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙරටට ගෙන්වා ඇති තුන්වන ගල් අඟුරු නෞකාවේ අළු ප්‍රතිශතය නියමිත ප්‍රමිතියට වඩා දශම හයකින් (0.6%) පමණක් ඉහළ ගොස් ඇති බවත්, එය විදුලි ජනනයට බරපතළ බාධාවක් නොවන බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මෙම තොගය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, වාරකම් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් දක්වා නැවත ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වන බැවින් රටේ අඛණ්ඩ විදුලි සැපයුම පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වනු ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.බියුරෝ වෙරිටාස් (Bureau Veritas) ආයතනයේ පරීක්ෂණ වාර්තාවලට අනුව අදාළ ගල් අඟුරු තොගයේ තාප ධාරිතාව 5995ත් 6008ත් අතර පරාසයක පවතින නිසා විදුලි ජනනය සඳහා එම තොගය භාවිත කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙවැනි තත්ත්වයක් තුළ අදාළ නෞකාව ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා වෙනත් තාප විදුලි ප්‍රභව වෙත යොමු වීමට සිදුවීම ආර්ථික වශයෙන් ද අවාසිදායකය.
කෙසේ වෙතත්, ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලුව හමුවේ සැපයුම්කරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇත. අළු ප්‍රතිශතය වැඩි වීම හේතුවෙන් සැපයුම්කරුට දඩයක් පැනවීමට හෝ ගෙවිය යුතු මුදලින් කොටසක් රඳවා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු කෙරේ. අඛණ්ඩ විදුලි සැපයුම සහතික කරමින් ජාතික අවශ්‍යතාව ප්‍රමුඛ කරගෙන අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















