ඉන්ධන මිලෙහි යම් සංශෝධනයක් සිදු වුවද, එය පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ ආකාරයේ දැවැන්ත මිල වැඩිවීමක් නොවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, වත්මන් ලෝක වෙළෙඳපොළ තත්ත්වය හමුවේ ඉන්ධන මිල පහත දැමීමේ හැකියාවක් ද නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ දක්වා මිල සංශෝධනයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, යම් හෙයකින් මිල ඉහළ දැමීමට සිදු වුවහොත් එය ඉතා සුළු අගයකින් සිදුවනු ඇති බව ඔහු අවධාරණය කළේය.අප්‍රේල් මාසයේදී ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 291.82ක් වැනි උපරිම අගයක පැවතුණද, වර්තමානය වන විට එය ඩොලර් 140ත් 150ත් අතර මට්ටමකට පහත බැස තිබීම හේතුවෙන් පෙර පැවති දැඩි ආර්ථික පීඩනය යම් තරමකට සමනය වී ඇත. මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් ඩීසල් මිල ඉහළ ගිය ද, රටේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව සංස්ථාව පවසයි.එළඹෙන ජූලි මස අවසානය දක්වා රටට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර, බොරතෙල් රැගත් නෞකා යුගලයක් මැයි මස 28 සහ 31 යන දිනවල දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ. ජාතික බලශක්ති අවශ්‍යතාව අඛණ්ඩව සැපයීම සඳහා සංස්ථාව සියලු කටයුතු සැලසුම් කර ඇති බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටී.
















