පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහළ බලධාරින් විසින් සිදුකර ඇතැයි සැලකෙන රුපියල් මිලියන 4 කට අධික මහජන මුදල් අවභාවිතාවක් පිලිබදව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විධිමත් විමර්ශනය ක් ආරම්භ කර තිබේ.
අල්ලස් කොමිසම වෙත පුරවැසියකු ගෙන් ලද පැමිණිල්ලක් ප්‍රකාර මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මෙම මුදල් අවභාවිතයට පසුබිම් වන සිදුවීම මෙසේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කල සමන් රාජපක්ෂ මහතා යම් විනය කටයුත්තක් හේතුවෙන් සේවයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලය 2021 වසරේදී කටයුතු කර තිබේ.
නීතියට පටහැනි ලෙස තමන් සේවයෙන් නෙරපා හැරීමට එරෙහිව රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. 2024 වසරේදී මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය නියෝග කොට ඇත්තේ විධිමත් පරීක්ෂණයක් මගින් වරදකරු බව ඔප්පු කිරීමෙන් තොරව සිදුකල නෙරපා හැරීම නීතියට පටහැනි බවයි.ඒ අනුව රාජපක්ෂ මහතා වහාම සේවයේ පිහිටුවන ලෙසටද නියෝග කර ඇත.
අභියාචනාධිකරණයේ මෙම නියෝග පිලි නොගත් එවකට උපකුලපති මහදුරාවේ ළමාවංශ ඇතුළු ඉහළ පරිපාලනය එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණට අභියාචනා දෙකක් ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය ආයතනවල නඩු කටයුතු සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ සහාය මුදල් රහිතව ලැබෙන නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරින් රජයේ නීතිඥවරුන්ගේ නීති සහාය වෙනුවට, මිල අධික ජනාධිපති නීතිඥයෙකු ඇතුළු පෞද්ගලික නීතිඥ කණ්ඩායක් මෙම අභියාචනා නඩු දෙක සදහා පත් කොට රුපියල් මිලියන 4 කට අධික මුදලක් මහජන මුදලින් ඒ සදහා වැය කර තිබේ.
ප්‍රශ්න සහගත කාරණය වන්නේ මාස කිහිපයක් ගතවීමෙන් අනතුරුව අදාල අභියාචනා දෙකම ඉල්ලා අස්කර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින්ම කටයුතු කිරීමයි.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව පිලි නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා දෙකක් ඉදිරිපත් කිරීම සහ කෙටි කලකට පසුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කිරීමත් එමගින් රුපියල් ලක්ශ 40 කට අධික මහජන මුදල් නිෂ්ප්‍රයෝජන ලෙස සාවද්‍ය පරිහරණයට ඉඩ සැලසීමත් සම්බන්ධයෙන් දූෂණ මර්ධන පනතේ ප්‍රතිපාදන වලට අදාලව මෙම විමර්ශනය පැවැත්වෙමින් තිබේ.
















