පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අදාල සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් පසුගිය දිනවල පලකරන ලද ප්රවෘත්ති කිහිපයක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් විසින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම මාධ්‍ය නිවේදන දෙකක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.අදාල මාධ්‍ය නිවේදන මෙතෙක් නිල වශයෙන් අප වෙත ලැබී නොතිබුණත් සමාජ මාධ්‍යයේ සැරිසරන එකී නිවේදන කියවා බැලීමේ අවස්ථාවක් අපට ලැබී තිබේ.
ඒ අනුව අපටද තවත් ටිකක් කරුණු හෙලිදරව් කිරීම අවශ්‍යව තිබෙන බව පැහැදිලි වී තිබේ.
උපකුලපති වරයාගේ මාධ්‍ය නිවේදනයේ සිදුවීම් 4 ක් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණි.
එහි පලමු කරුණ වන්නේ විශ්වවිද්‍යාල වෛද්‍ය මධස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරියගේ අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබී තිබෙන විගණන වාර්තාව සම්බන්ධයෙන් වන හෙලිදරව් කිරීමයි.
උපකුලපතිවරයා මෙවැනි සිදුවීමක් සිදුව තිබෙන බව හෝ අදාළ විගණන වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ අනුව අපගේ හෙලිදරව්ව සත්‍ය බව උපකුලපති පිලිගෙන තිබේ.
උපකුලපතිවරයා ඒ පිලිබදව තමන් නිහඩව නොසිටි බවත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒත්තු ගැන්වීමට විශාල වෙහෙසක් ගන්නා බව පෙනේ.එම කියාපෑම මගින්ම ඔහුගේ අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ලද ප්‍රදර්ශනය වන බව කණගාටුවෙන් වුවද කිව යුතුව තිබේ.
මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ 2026 මාර්තු 23 වන දිනය.
විගණන විමසුම නිකුත් කර ඇත්තේ ඊට දින 8 කට පසුවය. ඒ අනුව විගණන නිලධාරින් කාර්යක්ෂම ලෙස කටයුතු කර ඇත.
අද දින වන විට මාස තුනකට වඩා කල් ගතව ඇතත් අදාල විනය පරීක්ෂණය තවමත් ආරම්භව නැත. චෝදනාලත් නිලධාරිනිය එකී තනතුරේ රිසිසේ කටයුතු කරමින් සිටී.
මෙම පරීක්ෂණයට අදාල සාක්ෂිකරුවන් වන්නේ ඇය යටතේම සේවය කරන රියදුරන්,සාත්තු සේවකයන් ආදී පිරිස්ය.
එම පහල සේවකයන්ට බලපැම් කරමින් තමන්ට වාසිසහගත තත්වයක් ගොඩනගා ගැනීමට චෝදනාලත් තැනැත්තියට ඉඩ ලබාදී තිබෙන බව නොතේරෙන්නේ උපකුලපතිට පමණක් බව පෙනේ.
මෙවැනි අවස්වථාවලදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු නොවීම පිණිස චෝදනාලත් තැනැත්තාගේ වැඩ තහනම් කරමින් පරීක්ෂණ කටයුතු පැවැත්වීම පිලිගත් ක්රමවේදයය.
හිටපු ලේඛකාධිකාරී සමන් රාජපක්ෂට එරෙහිව පැවැති පරීක්ෂණයද, ශාස්ත්‍ර පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මහින්ද හේරත්ට මෙන්ම මහාචාර්ය විමලසේනට එරෙහි පරීක්ෂණයද ආරම්භවන්නේම, එම නිලධාරීන්, වැඩ තහනමට ලක් කරමිනි.
තවත් උදාහරණ රාශියක් කිව හැකිය.
සමන් රාජපක්ෂට, මහාචාර්ය හේරත්ට සහ මහාචාර්ය විමලසේනට ක්‍රියාත්මක නීතිය CMO ලග නැවුනේ කෙසේදැයි ඊලග මාධ්‍ය නිවේදනයේදී පැවසීමට උපකුලපතිට හැකියාව ඇත.
අවසන් වශයෙන් CMO ට එරෙහි පරීක්ෂණයේ වැදගත් සාක්ෂිකරුවෙකු වන රියදුරු මොහාන් රාජ්, වෛද්‍ය මධස්ථානයේ සිට හදිසියේ කෘෂිකර්ම පීඨය වෙත ස්ථාන මාරු කිරීමට හේතුවත්, අනෙකුත් සාක්ෂිකරුවන්ට එල්ල වී ඇති බලපෑම් පිලිබදවත් සොයා බැලීම මාධ්‍ය ආයතන පසුපස පැන්නීමට වඩා ඵලදායී විය හැකි බව කීමට කැමැත්තෙමු.
– මතු සම්බන්ධයි
















