දේශීය කිරි කර්මාන්තය නව මානයකට ඔසවා තබමින් සහ මෙරට පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින්, පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට (Pelwatte Dairy Industries Limited) අනුබද්ධිත පැල්වත්ත ෆුඩ්ස් පුද්ගලික සමාගම කුරුණෑගල ප්‍රදේශයේ නවතම දියර කිරි නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ නිල වශයෙන් ගිවිසුම්ගත වී තිබේ.
රුපියල් බිලියන 1.86ක (රු. මිලියන 1,860ක) දැවැන්ත මූල්‍ය ආයෝජනයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ නිල එකඟතා ගිවිසුම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි BOI මූලස්ථානයේදී අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට පැල්වත්ත ඩේරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක, කළමනාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම නව කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු 2026 ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, 2027 ජූලි මාසය වන විට එහි වාණිජ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ඇරඹීමට සැලසුම් කර ඇත.
ඉහළ තාක්ෂණයෙන් සහ ස්වයංක්‍රීයකරණයෙන් (Highly Automated) යුතුව ස්ථාපනය කෙරෙන මෙම කර්මාන්තශාලාව මඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නැවුම් දියර කිරි මෙන්ම චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි සහ අයිස් කෝපි (Iced Coffee) වැනි විවිධ රසයන්ගෙන් යුත් රසකළ කිරි වර්ග වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය. නවීන තාක්ෂණය භාවිතය නිසා සෘජු රැකියා සීමිත වුව ද, දේශීය දියර කිරි සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සමස්ත කිරි කර්මාන්ත සැපයුම් දාමය පුරා වක්‍ර රැකියා සහ ආදායම් මාර්ග රැසක් උත්පාදනය වනු ඇත.
මෙරට ගර්භණී මවුවරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන් මුහුණ දෙන උග්‍ර මන්දපෝෂණය, අඩු බර උපත් (15.9% – 18%) සහ රක්තහීනතාවය (34.6%) වැනි බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවලට පෝෂණීය විසඳුම් ලබාදීමට මෙම ව්‍යාපෘතිය සෘජුවම දායක වේ. දශක ගණනාවක් පුරා කිරිපිටි ක්ෂේත්‍රයේ විශ්වාසය දිනාගත් පැල්වත්ත සන්නාමය, මෙම ආයෝජනය හරහා ආනයනික කිරි නිෂ්පාදන මත යැපීම අවම කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ දිගුකාලීන සෞඛ්‍ය යහපැවැත්ම තහවුරු කිරීමට අපේක්ෂා කරයි.
















