ආජන්ටිනාවේ ප්‍රධාන විපක්ෂ ව්‍යාපාරය වන පෙරොනිස්ට් (Peronist) පක්ෂයේ නායකයින්, ජනාධිපති ජේවියර් මිලෙයිගේ ජනප්‍රියතාව පහළ යමින් පවතින පසුබිමක ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ දරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.ජනාධිපති මිලෙයි දැඩි මූල්‍ය පියවරයන් ගනිමින් උද්ධමනය පාලනය කිරීමට සමත් වුවද, එම ක්‍රියාමාර්ග නිසා මහජනතාව අතර ඔහු කෙරෙහි ඇති ජනප්‍රියතාවය අඩුවෙමින් පවතී. බුවනෝස් අයර්ස් පළාතේ ආණ්ඩුකාර සහ ජස්ටිෂියලිස්ටා (Justicialista) පක්ෂයේ ප්‍රධානියා වන ඇක්සෙල් කිසිලොෆ් පවසන්නේ මිලෙයිගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ අනෙකුත් දේශපාලන පක්ෂ ද ඇතුළත් කර ගනිමින් ශක්තිමත් පෙරොනිස්ට් සන්ධානයක් ගොඩනැගීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මධ්‍යකාලීන මැතිවරණයෙන් පෙරොනිස්ට්වරුන් පරාජයට පත්වීමත් සමඟ ඔවුන්ගේ අභ්‍යන්තර බෙදීම් සහ දුර්වලතා කැපී පෙනුණි. ජනාධිපති මිලෙයි දෙවන වරටත් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, විපක්ෂයෙන් ඉදිරිපත් විය හැකි ප්‍රධාන අපේක්ෂකයින් ලෙස ඇක්සෙල් කිසිලොෆ් සහ හිටපු ආර්ථික අමාත්‍ය සර්ජියෝ මාසා යන නම් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.
















