ශ්‍රී ලංකා පොලිස්පතිවරයාගේ නම සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කරමින් මහජනතාව වෙත විද්‍යුත් තැපෑල (Email) හරහා සයිබර් තර්ජන එල්ල කරමින් කප්පම් ලබාගන්නා මහා පරිමාණ වංචනික ජාලයක් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මකය.
ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නිල නාමයන් මෙන්ම ව්‍යාජ අත්සනක් ද යොදාගනිමින් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම වංචනික ඊමේල් පණිවිඩ නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. මෙමඟින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කීර්තිනාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවන බව නිරීක්ෂණය වී තිබේ. මේ හේතුවෙන්, යම් හෙයකින් පොලිස් නිලධාරීන්ගේ නම් හෝ ලාංඡන භාවිත කරමින් එවැනි සැකකටයුතු හෝ තර්ජනාත්මක ඊමේල් පණිවිඩයක් ලැබුණහොත් කිසිසේත් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මුදල් ගෙවීමෙන් සහ සබැඳි (Links) ක්ලික් කිරීමෙන් වළකින්න:
එලෙස ලැබෙන ව්‍යාජ පණිවිඩවලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින කප්පම් මුදල් ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බවත්, විශේෂයෙන්ම එම ඊමේල් පණිවිඩ සමඟ අමුණා ඇති කිසිදු සබැඳියකට (Links) ඇතුළු නොවන ලෙසත් පොලිසිය දැඩිව අවධාරණය කරයි. මෙවැනි සයිබර් අපරාධයක් හෝ වංචාවක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට (CCID) හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට දන්වා සිටියි. මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම වංචනිකයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට උපරිම පියවර ගන්නා බව පවසන පොලිසිය, නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙස මහජනතාවට වැඩිදුරටත් මතක් කර දෙයි.
















