ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී ඇති විස්තීරණ ණය පහසුකමට (EFF) අදාළ පස්වැනි සහ හයවැනි ඒකාබද්ධ සමාලෝචන සඳහා අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණය ගැනීම වෙනුවෙන් මූල්‍ය අරමුදලේ විධායක කමිටුව (Executive Board) මෙරට වේලාවෙන් හෙට (28) අලුයම රැස්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන තීරණය කරන අතිශය තීරණාත්මක සාකච්ඡාවක් වන මෙම විධායක කමිටු වාරයේදී, මෙරට විසින් ඉටුකළ යුතු මූල්‍ය හා ප්‍රතිසංස්කරණ ඉලක්කයන්හි ප්‍රගතිය දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමට නියමිතය.
මේ අතර, මෙරට වත්මන් දේශීය ආර්ථිකයේ පවතින අස්ථාවර ස්වභාවය සහ ඇතැම් මූල්‍ය ප්‍රතිපත්තිමය අභියෝගයන් හේතුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙත තවදුරටත් දැඩි කොන්දේසි සහ බලපෑම් එල්ල කළ හැකි වාතාවරණයක් උදාවී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම මෑතකාලීන මූල්‍ය ප්රවණතා හමුවේ ඉදිරි ණය වාරික නිදහස් කරගැනීම සඳහා රජයට දැඩි ආර්ථික කළමනාකරණයක නිරත වීමට සිදුවනු ඇති බව ද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
















