“පෝසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් “ගම් දහසක් – ව්‍යාපෘති දහසක්” නම් වූ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් සහ දිළිඳු ජනතාවගෙන් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බැවින්, ග්‍රාමීය සංවර්ධනය රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවට පත් කර ඇත. මේ සඳහා “ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය හරහා සෑම ග්‍රාම නිලධාරී වසමකම ප්‍රජා සංවර්ධන සභා පිහිටුවා අවසන් කර ඇති අතර, ගම සංවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ බුද්ධිමතුන් එම සභා නියෝජනය කරයි.
2026 වසර සඳහා අය-වැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර ඇති අතර, එම මුදල් උපයෝගී කරගනිමින් ජුනි 02 වැනිදා සිට එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක අවම වශයෙන් ග්‍රාම නිලධාරී වසම් තුනක් ආවරණය වන පරිදි ව්‍යාපෘති දහසක් ආරම්භ කෙරේ. ජනතාව විසින්ම තමන්ගේ ගමට අවශ්‍ය ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර, රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන්නේ එම ව්‍යාපෘති සංවර්ධනය කිරීම සහ අධීක්ෂණය කිරීම පමණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා සඳහන් කළේ, මෙම “ප්‍රජා ශක්ති” වැඩසටහන ප්‍රවේශයන් පහක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි. ග්‍රාමීය ආර්ථික අවස්ථා පුළුල් කිරීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය (අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, සෞඛ්‍ය) ඒ අතර ප්‍රධාන වේ.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා පැවසුවේ, ප්‍රජා සංවර්ධන සභා මගින් යෝජනා කළ ව්‍යාපෘති 106,555ක් අතුරින් ශක්‍යතා පරීක්ෂා කර ව්‍යාපෘති 22,610ක් මේ වන විට අනුමත කර ඇති බවයි. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රුපියල් මිලියන 1,670ක් වෙන් කර ඇති අතර, වසර අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමට රජය බලාපොරොත්තු වේ.















