කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සහ ගොවි ජනතාවගේ දිගුකාලීන සුබසාධනය ඉලක්ක කරගනිමින් උමා ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. රුපියල් මිලියන 228.6ක මුදලක් වැය කරමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කලාපයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ශක්තිමත් කෙරෙනු ඇති බවයි බලධාරීන් පවසන්නේ. ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බාලගල්ල සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ ගොවි ජනතාව එක්ව සිටියා.
මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජල කළමනාකරණය සහ වාරි පහසුකම්වල විශ්වාසනීයත්වය ඉහළ නංවමින්, වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති. 2025 දෙසැම්බර් 12 වැනිදා සිට ක්‍රියාත්මක කළ පාලිත ජල නිකුත් කිරීම් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ගොවි ජනතාවගේ ඉදිරි වගා කටයුතුවලට බාධාවක් නොවන පරිදි පුළුල් ශ්‍රමදායකත්වයකින් යුතුව මෙම කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.
බදුල්ල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ මෙම උත්සවයේදී, දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ගොවි ජනතාව විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික අභිවෘද්ධිය වෙනුවෙන් යටිතල පහසුකම් නවීකරණය කිරීමට සිදු කළ මෙම සුවිශේෂී ආයෝජනය, අනාගත කෘෂිකාර්මික තිරසාරභාවය උදෙසා තබන ලද තවත් වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
















