අද (28) දිනට යෙදී ඇති හජ්ජි උත්සවය වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික වතාවත් සුරක්ෂිතව සහ සාමකාමීව සිදු කිරීමේ අරමුණින් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සියලුම පොලිස් ස්ථාන වෙත ඒ සම්බන්ධයෙන් නිශ්චිත උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂ යාඥාවන් පැවැත්වෙන ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කිරීමටත්, බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත් පොලීසිය කටයුතු කර තිබෙනවා. මීට අමතරව, ඉස්ලාම් බැතිමතුන් බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම මුර සංචාර, පාමුර සංචාර සහ යතුරුපැදි සංචාර යොදවා ආරක්ෂාව තහවුරු කිරීමටත්, බුද්ධි නිලධාරීන් රාජකාරියේ යොදවා අවස්ථානෝචිතව තොරතුරු වාර්තා කිරීමටත් පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.
















