මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගමක් සහ හෝටල් ආයතනයක් විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙත රුපියල් බිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසි තුනක් යොමු කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය, ද්වේෂසහගත සහ ජනතාව නොමඟ යවන සුලු ප්‍රකාශ සිදු කිරීම මගින් තම ආයතනවල කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත. අදාළ එන්තරවාසිවලට අනුව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් දින 14ක් ඇතුළත නඩු පැවරීමට කටයුතු කරන බව එම සමාගම් දැනුම් දී තිබේ.
වන්දි ඉල්ලා ඇති ආකාරය:
හෝටල් සමාගම: රුපියල් බිලියන 1ක වන්දියක් ඉල්ලා ඇත.
ප්‍රධාන ව්‍යාපාරික සමාගම: රුපියල් බිලියන 5ක වන්දියක් ඉල්ලා ඇත.
අනුබද්ධිත ආයතනය: රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා ඇත.
චෝදනා සහ කරුණු:
හෝටල් සමාගම පෙන්වා දෙන්නේ විමල් වීරවංශ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද ‘ගජ මිතුරෝ උඩයි ! උඩයි ! ෆුල් ටයිමර් බිමයි! බිමයි!’ යන සිරස්තලය යටතේ වූ වීඩියෝව මගින් සමාගමට දැඩි අපකීර්තියක් සහ අපහාසයක් සිදු වී ඇති බවයි. අදාළ ප්‍රකාශ වහාම ඉවත් කරන ලෙසත්, එවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම නතර කරන ලෙසත් සමාගම නීතිඥවරුන් මගින් දැනුම් දී ඇත.
ව්‍යාපාරික සමාගම සහ එහි අනුබද්ධ ආයතනය චෝදනා කරන්නේ, වීරවංශ මහතා විසින් ‘හිඟන්නට පවුඩර් දාලා රුපියල වට්ටපු හැටි’ යන මැයෙන් සහ හිරු නාළිකාවේ ‘සලකුණ’ වැඩසටහන ඇතුළු විවිධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය හරහා තම සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය අපකීර්තියට පත් වන අයුරින් ව්‍යාජ කරුණු ප්‍රචාරය කර ඇති බවයි. මෙම අපහාසාත්මක ක්‍රියාවන් නිසා සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට සහ කොටස් වෙළෙඳපොළ දායකත්වයට බලපෑම් එල්ල වී ඇති බවත් එන්තරවාසි ලිපිවල දැක්වේ.
මෙම නීතිමය පියවර චනුක ඒකනායක, සසේන් අර්සකුලරත්න සහ සින්නදොරෙයි සුන්දරලිංගම් යන නීතිඥවරුන් මාර්ගයෙන් ගෙන ඇත.
















