ඉතාලියේ ඩොලමයිට්ස් (Dolomites) කඳුකරයේ පිහිටි පස් තරු හෝටලයකදී නළ ජලය (tap water) ඉල්ලා සිටි සංචාරකයෙකුට එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නීතිමය සටනකට ඉතාලියේ ඉහළම අධිකරණය තීන්දුවක් ලබා දී තිබේ. එම අධිකරණය ප්‍රකාශ කරන්නේ අවන්හල්වලදී හෝ හෝටල්වලදී පාරිභෝගිකයින්ට නළ ජලය ලබා දීම පාරිභෝගික අයිතිවාසිකමක් නොවන බවයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ 2019 වසරේ නත්තල් සහ අලුත් අවුරුදු කාලයේදීය. කොර්වාරාහි (Corvara) පිහිටි සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගත් කාන්තාවක් තමාගේ ආහාර වේල සමඟ නළ ජලය ඉල්ලා සිටි අතර, හෝටල් කළමනාකාරිත්වය එය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට යුරෝ 7ක වටිනාකමකින් යුත් ඛනිජ ජල බෝතලයක් ලබා දී ඇත. තමා පවසා සිටියේ තමාට මුදල් ගෙවා වුවද නළ ජලය ලබා ගැනීමට අවශ්‍ය බවයි.
නමුත් හෝටලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම කාන්තාව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි. ඇය තර්ක කළේ ජලය යනු විශ්වීය මානව අයිතිවාසිකමක් බවත්, අවන්හලකදී හෝ හෝටලයකදී මූලික අවශ්‍යතාවක් ලෙස නළ ජලය ලබා දීම අනිවාර්ය විය යුතු බවත්ය. ඒ වෙනුවෙන් ඇය යුරෝ 2,700ක වන්දියක් ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත්, පළමු සහ දෙවන අවස්ථා අධිකරණ මගින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, පසුව ඇය ඉතාලියේ ඉහළම අධිකරණය වන ‘Supreme Court of Cassation’ වෙත අභියාචනයක් ඉදිරිපත් කළාය. එහිදී තීන්දුව ලබා දෙමින් අධිකරණය තහවුරු කළේ, අවන්හල් කළමනාකරුවන්ට හෝ හෝටල් හිමියන්ට පාරිභෝගිකයින්ට නළ ජලය ලබා දීමට බැඳී සිටින නීතියක් ඉතාලියේ නොමැති බවයි.
සාමාන්‍යයෙන් ඉතාලියේ අවන්හල්වලදී නළ ජලය ඉල්ලා සිටීම ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් නළ ජලය භාවිතා කිරීමට හෝ පෙරූ ජලය (filtered water) ලබා දීමට බොහෝ අවන්හල් මේ වන විට පෙළඹී සිටියි.
















