වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සල් සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති වී.එම්. අමිත් කුමාර මහතා පවසයි. අදාළ උපදෙස් නොපිළිපදින දන්සල් අකැමැත්තෙන් වුවද වහාම අවලංගු කිරීමට සිදු වන බව ඔහු අවධාරණය කළේය.
සංවිධායකයන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ කරුණු පහත පරිදි වේ:
2011 ස්වස්ථා නියෝග අනුව දන්සල් පැවැත්විය යුතු අතර, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිර්දේශ කරන ජලය පමණක් භාවිතා කළ යුතුය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිසිල් පැන් වෙනුවට උණු පැන් දන්සල් වඩාත් යෝග්‍ය බවද ඔහු පැවසීය.
ආහාර වර්ණගැන්වීමට හෝ රස ගැන්වීමට වර්ණකාරක හා රසකාරක යොදා ගැනීම තහනම් වන අතර, කොළකැඳ වැනි දන්සල් සඳහා හානියට පත් ඖෂධ වර්ග භාවිතා නොකළ යුතුය. උණු ආහාර වැසීම සඳහා ප්ලාස්ටික් භාජන භාවිත නොකළ යුතු අතර, මුද්‍රිත කඩදාසි හෝ පොලිතීන් ආහාර බැඳීමට භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බව ඔහු පෙන්වා දුන්නේය. ආහාර පිසින්නන් ඇතුළු සංවිධායකයන් පිරිසුදු ඇඳුම්වලින් සැරසී සිටිය යුතු අතර, දුම්පානය, බුලත් විට කෑම සහ මත්පැන් පානය තහනම් වේ.
කසළ හා අපජලය බැහැර කිරීමට නිවැරදි ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර, දන්සල් පවත්වන ස්ථාන මදුරුවන් බෝ නොවන ලෙස පවත්වා ගැනීමට වගබලා ගත යුතුය. රට තුළ දැනටමත් ඩෙංගු රෝගීන් 30,000කට අධික සංඛ්‍යාවක් සහ මරණ 15ක් වාර්තා වී ඇති පසුබිමක, මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
















