පවතින ආර්ථික අර්බුදය සහ බදු ප්‍රතිපත්ති හේතුවෙන් කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ රුපියලේ අගය අවප්‍රමාණය වීම, විවිධ බදු පැනවීම් සහ නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් ආසියාවේ වැඩිම මිලක් පවතින සනීපාරක්ෂක නිෂ්පාදන අතරට ශ්‍රී ලංකාව එක්වී ඇති බවයි. මෙම තත්ත්වය විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන්ට, පාසල් සිසුවියන්ට සහ තරුණියන්ට දැඩි මූල්‍ය බරක් වී තිබේ.
උද්ධමනය, විදුලිබල හා ප්‍රවාහන වියදම් ඉහළ යාම, ආනයනික අමුද්‍රව්‍ය මත පනවා ඇති බදු සහ නිෂ්පාදන වියදම් ඉහළ යාම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී ඇති බව වෛද්‍යවරයා පැහැදිලි කරයි. මෙම අර්බුදය නිසා “සමකාලීන සනීපාරක්ෂක අනාරක්ෂිතභාවයක්” (menstrual hygiene insecurity) නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් බොහෝ ග්‍රාමීය කාන්තාවන් සහ පාසල් සිසුවියන් ඔසප් සමයේදී රැකියා ස්ථානයට හෝ පාසලට නොගොස් නිවසේ රැඳී සිටීමට බලකෙරී ඇත. මෙවැනි තත්ත්වයන් පුළුල් සමාජ හා ආර්ථික බලපෑම් ඇති කරන බවද ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුළ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා ගැනීමේදී මතුවන සමාජ සහ ආර්ථික බලපෑම් පිළිබඳව ජාතික මට්ටමින් පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















