ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය උපයෝගී කරගනිමින් රට භූ දේශපාලනික කෙළිබිමක් කරගැනීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ පැවැති රුහුණු වෙසක් මහා පෙරහැර අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
එවැනි විදේශීය හෝ බාහිර බලවේගවල මැදිහත්වීම්වලට ඉඩ දිය නොහැකි බවත්, රට සුරක්ෂිත කරමින් සහ ජනතාව ශක්තිමත් කරමින් රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේගවලට බලපෑම් කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු පැවසීය. මෙරටට ආවේණික වූ ශක්තිමත් ආර්ථික, සමාජීය, දේශපාලන සහ සංස්කෘතික ස්ථාවරත්වයක් ගොඩනැගීමේ වැදගත්කම ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රට මේ වන විට මුහුණ දෙන අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හේතුවෙන් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ආදායම් මාර්ග අහිමි වී ජන ජීවිත දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙවැනි පසුබිමක රටේ සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස සහ සංස්කෘතිය රැකගෙන වහල්භාවයෙන් මිදී රට දියුණු කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















