2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කරමින් ඌව පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ සිද්ධියකට අදාළව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් යන අය ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන පැවති අතර, අදාළ මුදල් රජයේ ව්‍යාපෘතියක් සඳහා නොව දේශපාලන ප්‍රචාරණ කටයුත්තක් සඳහා යොදා ගැනීම මගින් රාජ්‍ය දේපළ අවභාවිතයක් සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව මෙම නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන ලෙසයි.
















