ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග මේ ඉරිදා (31) සිය ප්‍රථම ජාත්‍යන්තර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට එක්වීමට නියමිතය. තරගාවලියේ තෙවැනි අදියර ලෙස මොරොක්කෝවේ රබාත්හි ප්‍රින්ස් මවුලේ අබ්දෙල්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයට එක්වීමත් සමඟ, ඩයමන්ඩ් ලීග් තරගාවලියක විසිකිරීමේ ඉසව්වක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට 23 හැවිරිදි රුමේෂ් සමත් වෙයි.
ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන රුමේෂ් සමඟ ලොව හොඳම ක්‍රීඩකයන් 10 දෙනාගෙන් 5 දෙනකුම මෙම තරගයට එක්වන අතර, වත්මන් ලෝක ශූර ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ ක්‍රීඩක කෙෂෝන් වල්කොට් ද ඒ අතර වේ. දැනට දෙවරක්ම මීටර් 89 සීමාව ඉක්මවා හෙල්ල විසි කර ඇති රුමේෂ්, මීටර් 89.37ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි. මෙම තරගාවලියේදී මීටර් 90 සීමාව අබිබවා යෑමේ ඉලක්කය සහිතව රුමේෂ් තරංග සහභාගී වන හෙල්ල විසි කිරීමේ ඉසව්ව ලබන ඉරිදා මධ්‍යම රාත්‍රී 12.11ට ආරම්භ වීමට නියමිතය.














