ඊද් උත්සවය වෙනුවෙන් බිලිදීමට නියමිතව සිටි, ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට බංග්ලාදේශයේ ඇලි මී හරකෙකුට අභයදානය ලබා දීමට බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සුදු සහ ලා දුඹුරු පැහැති මෙම දුර්ලභ ඇල්බිනෝ සත්වයාගේ හැඩරුව අමෙරිකානු හිටපු ජනාධිපතිවරයාට සමාන වීම නිසා ඌ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබා සිටියේය. කිලෝග්‍රෑම් 700ක් (රාත්තල් 1,500ක්) බරැති මෙම සත්වයා ආරක්ෂා කර රැකවරණය සැපයීම සඳහා බංග්ලාදේශ ජාතික සත්වෝද්‍යානය වෙත පවරා ඇත.
මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශය මැයි 28 වන දින ඊද් අල්-අදා උත්සවය සැමරූ අතර, එහිදී මිලියන 12කට අධික සතුන් සංඛ්‍යාවක් බිලිදීම සිරිතකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිමිකරු වන සියා උද්දීන් මිරිධා නමැති අය මෙම ගවයා අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, සත්වයාගේ දුර්ලභ තත්ත්වය සැලකිල්ලට ගත් බංග්ලාදේශ රජය හිමිකරුට මුදල් ගෙවා සත්වයා නිදහස් කරගෙන තිබේ. දැනට සති දෙකක නිරෝධායන කාලයකට යටත් කර සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දැකබලා ගැනීමට සහ ඡායාරූප ගැනීමට මේ වන විටත් සත්වෝද්‍යානය වෙත විශාල පිරිසක් පැමිණෙන බව සත්වෝද්‍යාන භාරකරු ප්‍රකාශ කර ඇත.















