ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු මස 15 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට දින තීන්දු කර තිබේ. අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය, අගෝස්තු 9 වැනිදා අවසන් වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් අනතුරුව ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම සංචාරයට සමගාමීව පැවැත්වීමට යෝජනා වී ඇති විස්සයි-20 තරගාවලිය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
පසුගිය නොවැම්බර් මාසයේදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට අරමුදල් රැස් කිරීම වෙනුවෙන් විස්සයි-20 තරග 3ක් ඇතුළත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පරිපාලනය ඉල්ලීමක් කර තිබුණි. ඉන්දීය ක්‍රිකට් ලේකම් දේවජිත් සයිකියා මහතා ශ්‍රී ලංකාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති නමුත්, එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඉන්දීය කණ්ඩායමට ඉතා කාර්යබහුල තරග කාලසටහනක් පවතින බැවින් ඊට දින වෙන් කිරීම දැඩි අභියෝගයක් වී ඇත. ඉන්දීය කණ්ඩායමට සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශ සංචාරය, බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය, නගෝයා ආසියානු ක්‍රීඩා උලෙළ සහ ඇෆ්ගනිස්ථාන තරගාවලිය වැනි තරග රැසකට මුහුණ දීමට සිදුව තිබීම මීට හේතුවයි.
















