තරුණ පරපුරේ සක්‍රීය දායකත්වයෙන් සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරන “තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව (NRSYD 2026)” සඳහා තෝරාගත් පර්යේෂණ ව්‍යාපෘති 40ක් වෙනුවෙන් මූල්‍ය දිරිගැන්වීම් පිරිනැමීම ඊයේ (29) සිදු කෙරිණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී මෙම උත්සවය පැවැත්විණි.
“Young People as Right Holders and Change-Makers: Asset-based Pathways for Social Transformation” යන තේමාව යටතේ සිදු කෙරෙන මෙම වැඩපිළිවෙල හරහා උසස් අධ්‍යාපන ආයතන, ස්වාධීන පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඉදිරිපත් කළ යෝජනාවලින් තෝරාගත් ව්‍යාපෘති 40ක් සඳහා රුපියල් 25,000 බැගින් වූ දීමනා පිරිනැමිණි. මෙම පර්යේෂණ මගින් ඩිජිටල් සහ හරිත ආර්ථිකය, අධ්‍යාපනය සහ නායකත්වය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ මාධ්‍ය, මානසික සුවතාවය, දේශගුණික විපර්යාස සහ තරුණ නියෝජනය වැනි කාලීන ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ, තරුණ සංවර්ධනයට අවශ්‍ය දත්ත ලබා ගැනීම වෙනුවෙන් මෙය ප්‍රධාන ව්‍යාපෘතියක් බවයි. එසේම, ජාතික ජන බලවේගයේ “තෘප්තිමත් තාරුණ්‍යයක් – නිවහල් චින්තනයක්” ප්‍රතිපත්තියට අනුකූලව පර්යේෂණ මත පදනම්ව තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පෙන්වා දුන්නේය. මෙම පර්යේෂණ සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඒවායේ සොයාගැනීම් ඉදිරි ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
















