රජය විසින් මෙගාවොට් 160ක ධාරිතාවකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) 16ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස, Windforce PLC සමාගම විසින් ආනයනය කරන ලද බැටරි පද්ධති 6ක් අද (30) අලුයම කොළඹ වරායට ළඟා විය.
මෙම පද්ධති මාහෝ, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චිය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතය. එක් බැටරි පද්ධතියකින් දිවා කාලයේ මෙගාවොට් 40ක ශක්තියක් ගබඩා කර, රාත්‍රී උපරිම ඉල්ලුම පවතින වේලාවන්හිදී මෙගාවොට් 10ක විදුලියක් ජාතික පද්ධතියට මුදා හැරිය හැකි අතර, මෙම නව පද්ධති හයෙන් ලැබෙන සමස්ත ධාරිතාව මෙගාවොට් 60කි.
මෙම පද්ධතිවල පාලනය සහ කළමනාකරණය බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින National System Operator (NSO) සමාගම විසින් සිදුකරනු ලබයි. දැනට ඉන්ධන මගින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 115ක් පමණ වැය වුවද, මෙම පද්ධති හරහා එම පිරිවැය රුපියල් 30 දක්වා අඩු කරගත හැකිය. ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීම මගින් මාසිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6ක විදේශ විනිමය ඉතිරි කර ගැනීමට රජය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන මෙම පද්ධති මගින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ට අඩු පිරිවැයකින් විදුලිය සැපයීම අරමුණු කෙරේ.
පාරිසරික අභියෝග සහ ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයේ ඇති අස්ථාවරභාවය අවම කරගැනීම උදෙසා මෙම ව්‍යාපෘතිය රජය විසින් විශේෂයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.
















