කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකියට අනුව, හෙට (31) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එම ප්‍රදේශ අතරින් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ. මීට අමතරව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















