අද (මැයි 31) ජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධී දිනය ලෙස නම් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙවර තේමාව වන්නේ “දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු – දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු” යන්නයි.මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසන පරිදි, දුම්කොළ කර්මාන්තය විසින් සිය නිෂ්පාදන අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කරමින් සහ ඊ-සිගරට් වැනි නිෂ්පාදන “හානි අවම කිරීමේ” උපාය මාර්ග ලෙස හඳුන්වමින් ළමුන් සහ තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරයි. දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම වසරකම වළක්වා ගත හැකි මරණ 20,000ක් පමණ සිදුවේ. ශ්‍රී ලංකාවේ සමස්ත මරණවලින් 83%කට බෝ නොවන රෝග හේතු වන අතර, දුම්කොළ භාවිතය බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක හතරෙන් එකකි. ශ්‍රී ලාංකිකයන් දිනකට දුම්වැටි සඳහා රුපියල් මිලියන 520ක් වැනි විශාල මුදලක් නාස්ති කරන අතර, එමගින් පවුල් දරිද්‍රතාවයට පත්වීමේ අවදානම වැඩි වේ. 2019 වසරේදී සිගරට් බදු හරහා රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 92.9ක් වුවත්, දුම්පානය නිසා රජයට දැරීමට සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214ක් තරම් ඉහළ අගයක් ගනී. මෙම දිනය නිමිත්තෙන්, දුම්කොළ භාවිතයෙන් ඇති වන හානිවලින් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ කැපවීම ශක්තිමත් කරන ලෙස ADIC ආයතනය ඉල්ලා සිටී.















