ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ ප්‍රධානීන් ලබන සතියේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට තීරණය කර තිබේ. එම ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් මෙසේ කැඳවන බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය. මෙරට ප්‍රධානතම රජය සතු නාවික හා භාණ්ඩ ප්‍රවාහන ආයතනය වන නැව් සංස්ථාවේ ප්‍රධානීන් මීට පෙර ද කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කර තිබුණි.
මේ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් ද දෙවන වතාවටත් ඉදිරි දිනවලදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය. පසුගිය සතියේ ඔවුන් කැඳවූ අවස්ථාවේදී එම අධිකාරිය තුළ සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා, විවිධ තනතුරුවලට බඳවා ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා මෙන්ම කොළඹ නගරයේ ඉඩම් පැවරීමේදී සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
















