මහමඟ රුපියල් ශත වෙනුවෙන් එකිනෙකා අභිබවා යමින් අනතුරුදායක ලෙස බස් රථ ධාවනය කරන ඇතැම් පෞද්ගලික බස් සේවකයන්ට කදිම ආදර්ශයක් සපයමින් වෙසක් පොහෝ දින කඩුගන්නාව සහ මහනුවර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක හිමිකරු සහ එහි සේවක පිරිස අපූරු වෙසක් දන්සලක් පවත්වා තිබේ.
මධ්‍යම පළාත් සභාවේ ලියාපදිංචි මෙම බස් රථයෙන් පොහෝ දින ගමන් බිමන් ගිය සියලුම මගීන්ට තමන් යන ඕනෑම ස්ථානයක් දක්වා නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා දී තිබුණි. ඊට අමතරව බස් රථයේ ගමන් ගත් මගීන් වෙත ප්‍රණීත දිවා ආහාර වේලක් සහ පානීය ජල බෝතලයක් ද නොමිලේ පිරිනැමීමට ඔවුන් පියවර ගෙන තිබේ.
උතුම් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් තමන්ගේ දෛනික බස් ආදායම ද කැප කරමින්, මහජනතාව වෙනුවෙන් මානුෂීයව සිතා මෙම උදාර පින්කම සංවිධානය කළ බස් රථ හිමිකරු ඇතුළු සේවක පිරිස වෙත මගී ජනතාවගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි ගෞරවය හා ප්‍රසාදය හිමිව ඇත.
















