තේ කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණින්, ඒ හා සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පස් අවුරුදු උපායමාර්ගික සැලසුමක් සකස් කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මෙම සැලසුම ඔස්සේ 2030 වසර වන විට තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
පසුගිය වසරේදී තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක් ලෙස වාර්තා වූ අතර, ඉදිරි වසර පහ තුළ එම ආදායම තවත් ඩොලර් බිලියනයකින් වර්ධනය කරගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී දළදා සමිඳුන් වෙත තේ අස්වැන්නේ අග්‍රඵලය පූජා කිරීමේ ජාතික නැවුම් තේ මංගල්‍යයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
2024 වසරට පෙර වසරේදී මෙරට සමස්ත නිමි තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 264ක් ලෙස පැවති අතර, පසුගිය වසරේදී එය කිලෝග්‍රෑම් ලක්ෂ 20කින් ඉහළ නැංවීමට හැකි විය. 2030 වසර වන විට නිමි තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. තේ සංස්කෘතිය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා යුනෙස්කෝ (UNESCO) සංවිධානය වෙත යෝජනාවක් යොමු කර ඇති අතර ඔවුන් එය පිළිගනිමින් සිටී. මෙම වසරේ මුල් මාස හතර තුළ ලංකා ඉතිහාසයේ පළමු වරට තේ අපනයන ආදායම ඩොලර් මිලියන 451.58ක් දක්වා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වී තිබේ.
තේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන කර්මාන්තයක් බවත්, එය බහුවාර්ගික සංස්කෘතියක් සමඟ බද්ධ වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිහිපත් කළේය.
















