LOLC හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම 2026 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සිය මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින්, සිය මෙහෙයුම් ලාභදායිත්වය පුළුල් කරගැනීමට සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘතිය හරහා ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව වාර්තා කරයි. රටවල් 27ක මෙහෙයුම් පවත්වාගෙන යමින්, සමූහයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල පෙර වසරට සාපේක්ෂව සියයට 49කින් වර්ධනය වී ඇති අතර, එය රුපියල් බිලියන 47.9 සිට රුපියල් බිලියන 71.5ක් දක්වා ඉහළ ගොස් තිබේ. සමාගමේ දළ ආදායම ද සියයට 28ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 430.3ක් දක්වා වර්ධනය වී ඇත.
මූල්‍ය සේවා අංශය සමූහයේ ප්‍රධාන ආදායම් උත්පාදකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇති අතර, එම අංශයේ මෙහෙයුම් ප්‍රතිඵල රුපියල් බිලියන 51.7කි. ආසියාව, මධ්‍යම ආසියාව සහ අප්‍රිකාව පුරා රටවල් 21ක ව්‍යාප්තව පවතින එම අංශයේ වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 1.36ක් දක්වා වර්ධනය වී තිබේ. ලතින් ඇමෙරිකානු වෙළඳපොළට පිවිසීම පිළිබඳව ද මේ වනවිට උපායමාර්ගික ඇගයීම් සිදු කෙරෙමින් පවතී. මීට අමතරව, නිෂ්පාදන සහ වෙළඳ අංශයේ මෙහෙයුම් ප්‍රතිඵල අටගුණයකින් ඉහළ ගොස් රුපියල් බිලියන 9.2ක් ලෙස සටහන්ව ඇත.
වතු සහ කෘෂිකාර්මික අංශය පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 5.1ක මෙහෙයුම් අලාභයෙන් මිදී රුපියල් බිලියන 1.7ක මෙහෙයුම් ලාභයක් වාර්තා කරමින් සාර්ථක හැරවුමක් සනිටුහන් කර තිබේ. කෙන්යාව, ටැන්සානියාව, රුවන්ඩාව, චීනය සහ ශ්‍රී ලංකාව පුරා විහිදුණු හෙක්ටයාර 100,000ක වපසරියක් සහිතව ව්‍යාප්තව ඇති සමූහයේ තේ වගාව හරහා වාර්ෂිකව කිලෝග්‍රෑම් මිලියන 100ක පමණ නිෂ්පාදනයක් සිදු කෙරේ. විවේකී සේවා සහ නිශ්චල දේපළ අංශය රුපියල් බිලියන 2.0ක මෙහෙයුම් ප්‍රතිඵල වාර්තා කර ඇති අතර, නවබර්ග් එල්ලාවේ නව දේපළ සහ මරීනා පෝට් සිටි ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතී.
සමූහයේ සමස්ත වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 2.32ක් දක්වා වර්ධනය වී ඇති අතර, කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 822.46ක් දක්වා ඉහළ ගොස් ඇත. විදේශීය අනුබද්ධ සමාගම්වල මූල්‍ය වාර්තා පරිවර්තනය කිරීමෙන් ලැබුණු රුපියල් බිලියන 24ක වාසිය සමඟ සමූහයේ සමස්ත විස්තීර්ණ ආදායම රුපියල් බිලියන 47.2කි. මෙම ශක්තිමත් මූල්‍ය දර්ශක සහ විවිධාංගීකරණය වූ ආයෝජන පදනම, අනාගතයේදී තිරසාර වර්ධනයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දී තිබේ.
















