2026 වසරේ අප්‍රේල් මාසයෙන් අවසන් වූ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693ක් දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ. 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මෙය විශාල වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
අපනයන ආදායම 5.1%ක සුළු වර්ධනයක් පෙන්වූවද, ආනයන වියදම 25.2%ක අතිවිශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඩොලර් මිලියන 8,228ක් ලෙස සටහන් වීම මෙම හිඟයට ප්‍රධාන හේතුව වී ඇත. අපනයන මිලට වඩා ආනයන මිල ඉහළ යාම හේතුවෙන් ජංගම ගිණුම මත දැඩි පීඩනයක් එල්ල වී තිබේ. උද්ධමනකාරී පීඩනය පාලනය කිරීමට මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% දක්වා පදනම් ලකුණු 100කින් ඉහළ නංවා ඇත. රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සතු විදේශීය ආයෝජන වටිනාකම සතිය තුළ 5.49%කින් පහත වැටී ඇති අතර එය විදේශ විනිමය වෙළඳපොළට අහිතකර ලෙස බලපායි. සංචාරක පැමිණීම් සහ එම ආදායම පහත වැටීම ද විදේශ විනිමය ඉපැයීමේ මාර්ගවලට අභියෝගයක් වී තිබේ. රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලය තුළ 5.4%ක අගය අඩුවීමක් වාර්තා කර ඇත.
















