පසුගිය සතියේ පිලිපීනයට නැගෙනහිරින් පිහිටි පැසිෆික් සාගර කලාපයේ චීන නාවික හමුදාව ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් යොදා ගනිමින් යුද අභ්‍යාස පවත්වා ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ජපාන සමුද්‍රීය ස්වයං-ආරක්ෂක බලකාය තහවුරු කර ඇත්තේ චීනයේ ‘ලියාවොනින්’ (Liaoning) ගුවන්යානා ප්‍රවාහන නෞකාව සහ ඒ සමඟ පැමිණි නෞකා මැයි 26 සහ මැයි 28 අතර කාලයේදී පිලිපීනයේ ලුසෝන් දූපතට නැගෙනහිරින් වූ ජල තීරයේ සැරිසැරූ බවයි. චීන නෞකා සමූහය බටහිර පැසිෆික් සාගර කලාපය පුරා ගමන් කරමින් ජපානයේ මියාකෝජිමා දූපතට ගිනිකොන දෙසින් කිලෝමීටර් 590ක් පමණ ආසන්නයට ළඟා වූ අතර, එහිදී ගුවන්යානා සහ හෙලිකොප්ටර් යානා ආශ්‍රිතව ගුවන්ගත කිරීම් සහ ගොඩබෑමේ අභ්‍යාස 170ක් පමණ සිදු කර තිබේ. සිකුරාදා වන විට එම නෞකාව පිලිපීනය දිගේ ගිනිකොන දෙසට ගමන් කරමින් සිටි බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඇමරිකානු මිත්‍ර පාක්ෂිකයන් වන ජපානය සහ පිලිපීනය අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් වීම හේතුවෙන් චීනය විසින් මෑතකදී බටහිර පැසිෆික් කලාපයේ සිය නාවික ක්‍රියාකාරකම් තීව්‍ර කර තිබේ.
















