ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තුළ දූෂණය පිටුදැකීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පසුගිය 29 වැනිදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ රජයට වැඩිම ආදායමක් උපයා දෙන ප්‍රධාන ආයතන වන ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්යක්ෂමතාව සහ සුපිළිපන්නභාවය (Integrity) තහවුරු කිරීමයි. 2025-2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව මෙම ආයතනවල දැනට ස්ථාපිත කර ඇති “අභ්‍යන්තර කටයුතු ඒකක” (Internal Affairs Units) වල ක්‍රියාකාරිත්වය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනයට ලක් විය.
මෙම ආයතන තුළ දැනට පවතින දූෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් විනිවිදභාවයකින් යුත් සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. සුපිළිපන් සංස්කෘතියක් ගොඩනැගීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කළ අතර, අනාගතයේදී අනුගමනය කළ යුතු නව පියවරයන් පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය, රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එස්. කේ. ලියනගම, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්. පී. එච්. ප්‍රනාන්දු සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න යන මහත්ම මහත්මීන් ද, අදාළ ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකවල ප්‍රධානීන් ද එක්ව සිටියහ.
රජයේ ප්‍රධාන ආදායම් මාර්ග වන මෙම ආයතන තුළ විනය සහ සුපිළිපන්නභාවය තහවුරු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් සාධකයක් වනු ඇත.
















