අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි කාලසීමාව තුළ, තම අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ප්‍රාදේශීය සභා සේවකයින් 11 දෙනෙකුට රුපියල් හය ලක්ෂ විසිපන්දහසකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බවට නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ් මහතා චෝදනා කරයි.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත සභාපතිවරයා අද (02) උදෑසන ලිඛිතව පැමිණිලි කර ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, සිය අත්සන වංචනික ලෙස යොදා වැටුප් ලබා දීම පමණක් නොව, තමා නොදැනුවත්වම කූඨ ලේඛන සකසා ඇති බවට තමා දැඩි ලෙස සැක කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු අදාළ අංශවලින් ඉල්ලා සිටී.
















