අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලයේ සභාපති රෙයින් ටම්සාර් (Rein Tammsaar) මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ළමුන් සම්බන්ධ නීතිමය ප්‍රතිසංස්කරණ, ළමා සහ යෞවන ආඥා පනත මෙන්ම ළමා නඩු කඩිනම් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය. අපරාධ නීති විධිවිධාන සංග්‍රහයට සිදුකළ සංශෝධන අනුව, අධිකරණ නඩු විභාගවලදී දරුවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ හැකියාව සලසා ඇති බවත්, ඒ පිළිබඳව විනිසුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ළමා නීති පිළිබඳ දැනුම විනිසුරු පුහුණු ආයතනයේ වැඩසටහන්වලට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. දැනට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති වීඩියෝ තාක්ෂණික සාක්ෂි ලබා ගැනීමේ විශේෂ කාමර පහසුකම් දිවයිනේ සෙසු අධිකරණ වෙත ද ව්‍යාප්ත කිරීමට මෙහිදී සාකච්ඡා කෙරිණි. නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී ඇති නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියේ පවතින පුරප්පාඩු පියවීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා යුනිසෙෆ් නියෝජිතයන් වන Sophia Tesfamariam, Anna Jóhannsdóttir, Alejandra Hernandez Gonzalez, Claudio Silvio Nardi, Andres Franco සහ Natalie Leston යන මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.
















