යාපනයේ උපත ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තායි දයාලන් (Thai Dayalan) මහතා ලන්ඩනයේ කිංග්ස්ටන් (Kingston upon Thames) ප්‍රදේශයේ නව නගරාධිපතිවරයා ලෙස ධූරයට තේරී පත්වී තිබේ. 1970 වසරේදී ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ ඔහු, ලන්ඩන් නුවර වෘත්තීයමය රැකියාවක නිරත වන අතරතුරදීම ප්‍රජා සේවා හා පොදු මහජන කටයුතු සඳහා සක්‍රීයව දායක වූ පුද්ගලයෙකි.
ඔහුගේ දේශපාලන සහ මහජන සේවා ගමන්මඟ නිල වශයෙන් ආරම්භ වූයේ 2014 වසරේදී ටොල්වර්ත් (Tolworth) ප්‍රදේශය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමත් සමඟය. එතැන් සිට ප්‍රදේශයේ ජනතා සේවාවන් සහ ප්‍රජා සංවර්ධන කටයුතු වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ඒ මහතා, 2017 වසරේදී කිංග්ස්ටන් නගර සභාවේ සභිකයෙකු ලෙස ද තේරී පත්විය.
මෙවර පැවති මැතිවරණයේදී කිංග්ස්ටන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් සමඟින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් තායි දයාලන් මහතා, එම විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නගරාධිපති ධූරයට අභිෂේක ලැබීය. විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට මහත් අභිමානයක් ගෙන දෙන මෙම ජයග්‍රහණය, ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ ශ්‍රී ලාංකිකයන් සතු නායකත්ව හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය කළ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
















