දිළිඳු බව දුරු කිරීම පිණිස මෙරට නිදහසින් පසු පැමිණි සෑම රජයක්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද, දශක හතකට පසුවත් සමස්ත ජනගහනයෙන් 22%කට ආසන්න පිරිසක් තවමත් දිළිඳුභාවයෙන් පසුවීම බරපතළ සමාජ ඛේදවාචකයක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ දිළිඳුකම පරම්පරාවෙන් පරම්පරාවට දායාද වීම මේ පරම්පරාවෙන් අවසන් කිරීමට සැවොම එක්විය යුතු බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ප්‍රජා ශක්ති ගම් දහසක – වැඩ දහසක්‘ ජාතික වැඩපිළිවෙළ යටතේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්පිටිය, පිංවල අමුණ රුපියල් මිලියන 8ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට ඊයේ (02) එක්වෙමිනි.
සීතල කාමරවල සිට ඉහළින් සැලසුම් කරන සංවර්ධන ක්‍රමවේද වෙනුවට, මහජනතාව සෘජුවම සම්බන්ධ වන පහළ සිට ඉහළට ගමන් කරන ජන සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලියක් රජය හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මේ වන විට දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,022 ම ආවරණය වන පරිදි ප්‍රජා සංවර්ධන සභා පිහිටුවා ඇති බවත්, මෙම වසරේදී අවම වශයෙන් ව්‍යාපෘති 14,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීය.
ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් වත්මන් රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,80,000කට (බිලියන 180) අධික දැවැන්ත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
එම ප්‍රතිපාදන වෙන් කිරීම යටතේ පළාත් සභා හරහා ග්‍රාම සංවර්ධන ඉලක්ක සඳහා රුපියල් මිලියන 70,000කට අධික මුදලක් ද, ග්‍රාමීය මාර්ග සහ පාලම් ඇතුළු යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 33,000ක් ද වෙන් කර ඇත. එමෙන්ම ප්‍රජා ශක්ති දිළිඳු බව පිටුදැකීමේ ව්‍යාපාරය සඳහා රුපියල් මිලියන 25,000ක් සහ විමධ්‍යගත අරමුදල් ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් මිලියන 2,250ක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලී වීරසේකර, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ගම්පහ දිසාපති ලලින්ද ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, දිළිඳු පවුල් සවිබල ගැන්වීම වෙනුවෙන් ජංගම අලෙවි කුටි, වගා පැළ, නිවාස ණයවර ලිපි සහ පාසල් උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු කෙරුණි.
















