ප්‍රජාශක්ති 2026 ‘ගම් දහසක වැඩ දහසක්’ ජාතික වැඩසටහන යටතේ මෙරට බහුමාන දරිද්‍රතාව පිටුදැකීම අරමුණු කරගනිමින් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාව හුනුපොළ ග්‍රාම නිලධාරි වසමේදී පැවැත්විණි. ඒ සඳහා රුපියල් මිලියන 25,000ක මහජන බදු මුදලක් වෙන් කර ඇත.
මෙම වැඩසටහන යටතේ හුනුපොළ මහවැවේ එක්රොක් වී ඇති ජලජ ශාක ඉවත් කිරීම සහ එහි වාරි ඇළ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය සහ කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම්, වයඹ පළාත් සහකාර ගොවිජන සේවා කොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජල සැපයුම වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතය.
















