කතරගම පුදබිම වෙත පසුගිය දිනවල ජපානයේ සිට පැමිණි බැතිමතුන් පිරිසක් තුන් මසක් පුරා දැඩි ලෙස පේවි, මස් මාංශයෙන් වැළකී කඳ සුරිඳුන් වන්දනාමාන කර ගත්හ. ජපානයේ නගෝයා නුවර පෞද්ගලික රෝහලක සේවය කරන හෙදියන් නව දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස ආයුර්වේද වෛද්‍යවරියක වන මස්මි මියාසකි මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙරටට පැමිණියහ.
මස්මි මියාසකි මහත්මිය සඳහන් කළේ තමා රාත්‍රී සිහිනයකින් මොනරෙකු පිට නැගගත් දෙවි කෙනෙකු දැකීමෙන් පසු අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සෙවීම්වලදී ඔහු මුරුගන් හෙවත් කතරගම දෙවියන් බව හඳුනා ගත් බවයි. ඉන්දියාවේදී කතරගම පුදබිම පිළිබඳව ලද තොරතුරු මත ප්‍රථම වරට මෙරටට පැමිණි ඇය, ආපසු සිය රටට ගොස් දෙවියන්ගේ පින්තූරයක් තබාගෙන වන්දනාමාන කිරීමෙන් පසු තමාට ලැබුණු උසස් වීම් ඇතුළු ආශ්චර්යමත් අත්දැකීම් හේතුවෙන් ජපානයේ කුඩා ආශ්‍රමයක්ද ඉදි කර තිබේ.
කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතාගෙන් පුද පූජා විධි පිළිබඳව උපදෙස් ලබා ගත් මෙම පිරිස, බුදුන් වෙනුවෙන් පින්කම් සිදු කර කඳ සුරිඳුන් වෙනුවෙන් දින තුනක් දානය පිරිනමා කාවඩි නටමින් තම භක්තිය පළ කළහ. ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ සිල්වත් බව සහ ලෝකයේ වෙනත් කිසිදු රටක දක්නට නොලැබෙන ආකාරයේ සත්කාර සේවා සහ සිනහව තමා බෙහෙවින් අගය කරන බව මියාසකි මහත්මිය පැවසුවාය. තමා නැවත ජපානයට ගොස් කතරගම දෙවියන්ගේ ආශ්චර්යයන් සහ ලංකාවේ පවතින උතුම් සංස්කෘතිය පිළිබඳව ජපාන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
















