කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 ජූනි 02 වැනි දින හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 31 නමක් අමානුෂික ලෙස ඝාතනය කර වසර 39ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ගුණ සමරු උළෙල අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (02) පැවැත්විණි. මෙම පුණ්‍යකර්මය සඳහා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයංගොඩ මෛත්‍රී මූර්ති නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, උතුරු නැගෙනහිර සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කෙරිණි.
සමරු උළෙලට සමගාමීව පෙරේදා (01) රාත්‍රී පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර, ඊයේ පෙරවරුවේ හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු විය. අනතුරුව අරන්තලාව මහා සෑය ඉදිවන ස්ථානයේදී සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙන් පසු උත්සව සභාව පැවැත්විණි. එහිදී මහා සංඝරත්නය 500 නමක් විෂයෙහි දානය පිරිනැමූ අතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිරිවෙන් 40ක් සඳහා කාර්යාල උපකරණ බෙදා දීමද සිදු කෙරිණි.
මෙම අවාසනාවන්ත ඝාතන සිදුවීමේදී දිවි බේරාගත් ආඳාඋල්පත බුද්ධසාර හිමි සහ හඟුරන්කෙත පුඤ්ඤසාර හිමිවරුන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















