ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රතිපත්තිමය එකඟතා ප්‍රකාරව, ඉදිරියේදී වාහන හෝ වෙනත් කිසිදු භාණ්ඩයක ආනයන සීමා කිරීමට රජය පියවර නොගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. ඇතැම් වාහන ආනයනකරුවන් විසින් නැවතත් වාහන ආනයනය තහනම් කරනු ඇතැයි යන අනියත බියක් ව්‍යාප්ත කරමින් පාරිභෝගිකයන් නොමඟ යවන බවත්, එවැනි ක්‍රියා නිසා විනිමය අනුපාතයට අනවශ්‍ය බලපෑම් එල්ල වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, අලුතෙන් ආනයන සීමා පැනවීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතවම එකඟ වී ඇති බවයි. එබැවින් කලබල වී වැඩි මිලට වාහන මිලදී ගැනීමෙන් වළකින ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. මීට පෙර විනිමය අනුපාත ඉහළ ගිය අවස්ථාවේදී වැඩි මිලට වාහන මිලදී ගත් පුද්ගලයන්ට අත් වූ ඉරණමම මෙවැනි ක්‍රියා හේතුවෙන් යළිත් සිදුවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
ආනයන සීමා කිරීම සාම්ප්‍රදායික සටන් පාඨයක් වුවද එය ප්‍රායෝගික විසඳුමක් නොවන බව පෙන්වා දුන් ආචාර්ය වීරසිංහ මහතා, 2021 වසරේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදීත් රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන් බව සිහිපත් කළේය. ඩොලර් රැකගැනීම සඳහා භාණ්ඩ වර්ග කරමින් ආනයන තහනම් කිරීම වතුර ටැංකියක උතුරා යන වතුර පාලනය කිරීමට යටින් බෝලයක් එබීම වැනි තාවකාලික ක්‍රියාවක් බව ඔහු පැවසීය.
වාහන වැනි භාණ්ඩ ආනයනය හරහා රජයට 115% සිට 120% දක්වා ඉහළ බදු ආදායමක් ලැබෙන බැවින්, ආනයන සීමා කිරීමට වඩා මූල්‍ය ප්‍රතිපත්ති සහ පොලී අනුපාත උපයෝගී කරගනිමින් සමස්ත රුපියල් ඉල්ලුම පාලනය කිරීම වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ඇති නිවැරදිම මඟ බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















