‘අනු බුදු ගුණ බෙලෙන් යුද ගිනි නිවේවා’ යන තේමාව යටතේ 2334 වැනි ජාතික පොසොන් උත්සවය මෙවරත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත. මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ මූලිකත්වයෙන් පැවැති පොසොන් පින්කම් කමිටු රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
පොසොන් උත්සවයේ ප්‍රධාන වැඩසටහන් ලෙස ජුනි 20 දා සති පිරිත ආරම්භ වන අතර, ජුනි 26 දා රාත්‍රියේ දොරකඩ අස්න පැවැත්වේ. ජුනි 27 දා දහවල් දානයෙන් පින්කම් අවසන් වන අතර, ජුනි 28 දා මිහිඳු පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. ජුනි 26 සිට ජූලි 02 දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර ඇත.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ආරක්ෂක කටයුතු, ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ පරිසර හිතකාමී වැඩසටහන් ඇතුළු සියලු කටයුතු සැලසුම් සහගතව සිදුකිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම, පූජා භූමිය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර 300ක් සවි කිරීම සහ අනාරක්ෂිත ගස් ඉවත් කිරීම වැනි කාර්යයන් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බව විහාරාධිපති හිමියන් පෙන්වා දුන්හ. රජයෙන් ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවන බැවින්, පින්කම් සාර්ථක කර ගැනීමට බැතිමතුන්ගේ සහාය බලාපොරොත්තු වන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
















