කසකස්ථානය මෑත කාලීනව චීනයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, 2025 වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 3.5කට අධික ණයක් ලබාගැනීමත් සමඟ බීජිං පාලනයට ගෙවිය යුතු සමස්ත ණය වගකීම ඩොලර් බිලියන 12.87 දක්වා වර්ධනය වී තිබේ. 2022 වසරේදී ඩොලර් බිලියන 9ක්ව පැවති මෙම ණය බර, 2024 අවසානය වන විට ඩොලර් බිලියන 9.29ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගිය ද, 2025 වසරේ සිට ඇරඹුණු මෙම දැවැන්ත ණය ගැනීමේ ප්‍රවණතාව රටේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව විමසිලිමත් විය යුතු තත්ත්වයක් නිර්මාණය කර ඇත.
මෙම ආර්ථික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 2026 මැයි මස අගභාගයේදී කසකස්ථාන රජය චීනයේ දේශීය බැඳුම්කර වෙළෙඳපොළ හරහා යුවාන් බිලියන 3.4ක (අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික) වටිනාකමින් යුත් ‘Panda Bonds’ නිකුත් කරනු ලැබීය. වසර තුනක පරිණත කාලයකින් සහ සියයට 1.9ක ස්ථාවර පොලී අනුපාතයකින් යුත් මෙම බැඳුම්කර නිකුතුව මගින් කසකස්ථානයට ලොව දෙවන විශාලතම බැඳුම්කර වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව උදා වී ඇත. මේ හා සමාන්තරව චීන ජාතික ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය විසින් කසකස්ථානයට ඉහළම ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම වන “AAA” ලබා දීම, තවදුරටත් වාසිදායක කොන්දේසි යටතේ ණය ලබා ගැනීමට එම රටට ඇති හැකියාව තහවුරු කර තිබේ.
ලැබෙන මෙම ණය මුදල් භාවිතයෙන් කසකස්ථානයේ දේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ ප්‍රධාන වශයෙන් රටේ ඩිජිටල් පරිවර්තනය (Digital Transformation) වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, අඛණ්ඩව ඉහළ යන චීන ණය බර සහ ඒ හා බැඳුණු ආර්ථික උපායමාර්ග මගින් කසකස්ථානය බීජිං පාලනය සමඟ පෙරට වඩා දැඩි මූල්‍යමය සබඳතාවක් ගොඩනගා ගැනීමට සැරසෙන බව පැහැදිලිය.
















