ජාතික පරිසර සතිය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන මගින් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මාර්ගස්ථ වාහන දුම් පරීක්ෂණයක් සහ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් සහ වායු විමෝචන තාක්ෂණික නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ මෙම මෙහෙයුමේදී, මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රථ ඇතුළු වාහන රැසක් අධික ලෙස දුම් පිටකරන බව හඳුනා ගැනීමෙන් අනතුරුව, එම වාහන සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘නඩත්තු නියෝග’ නිකුත් කිරීමට පියවර ගැණිනි.
වායු දූෂණය යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වසරකට ලක්ෂ 60ත් 70ත් අතර පිරිසක් මරණයට පත් කරන ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ වායු දූෂණය සිදුවන ප්‍රධානතම ප්රභවය ලෙස වාහන වායු විමෝචනය හඳුනාගෙන තිබේ. වාහනවලින් අධික ලෙස දුම පිටවීම යනු නොදැවුණු ඉන්ධන පරිසරයට මුදාහැරීමක් වනවා සේම, එය ඉන්ධන කාර්යක්ෂමතාව බිඳවැටීම හරහා වාහන හිමියන්ට පවතින ආර්ථික අර්බුද හමුවේ අමතර මූල්‍ය බරක් ද එක් කරනු ලබයි. මේ පිළිබඳව රියැදුරන් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම සිදුකළ අතර, වාහන නිසි ලෙස නඩත්තු කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
දිවයින පුරා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල මගින් අපේක්ෂා කරන්නේ වායු දූෂණය අවම කරමින් ජාතික සෞඛ්‍ය ප්රමිතීන් ඉහළ නැංවීමයි. තිරසාර පාරිසරික අනාගතයක් වෙනුවෙන් සියලුම වාහන හිමියන් තම වාහන නිසි වේලාවට නඩත්තු කිරීමට සහ සහයෝගය දැක්වීමට වග බලා ගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිහිපත් කරයි. අනාගතයේදී මෙවැනි පරීක්ෂාවන් වඩාත් පුළුල්ව ක්‍රියාත්මක කිරීම තුළින් පාරිසරික බලපෑම් අවම කර ගැනීමට සහ ප්‍රවාහන ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වනු ඇති බව විශ්වාස කෙරේ.
















